Saturday, November 20, 2021

සබරගමු සම්ප්‍රදායේ බළන්ගොඩ පහන්මඩු ශාන්තිකර්මය

 

 


සබරගමු සම්ප්‍රදායේ බළන්ගොඩ පහන්මඩු ශාන්තිකර්මයේ සුවිශේෂත්වය





                පෙර අපරදිග රටවල්වල විද්‍යාමාන පොදු ජන සාහිත්‍යයක් ලෙස ජනශ්‍රැති හැඳින්විය හැකි ය. ජනශ්‍රැතිය ප්‍රභවය වූ කාල පරිච්ඡේදය නිශ්චිතව ම ඉදිරිපත් කළ නොහැකි අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රභවය කෙදිනක සිදුවූයේ ද, ඒතාක් දිගු ඉතිහාසයක සිට මානව ජනශ්‍රැතිය අඛණ්ඩව පැවැත එන්නෙකි. ‘ජනශ්‍රැති’ යන වචනය ඉංග්‍රීසි බසින් ප්‍රථම වරට යොදාගනු ලැබුවේ 1946 දී විලියම් තෝමස් විසිනි. ඔහු ජනශ්‍රැතියට  මෙවැනි නිර්වචනයක් ඉදිරිපත් කරනු ලබයි. 
ජනශ්‍රැති ය වූ කලි මිනිසා සමඟ අන්‍යන්‍ය වශයෙන් බැඳී පවතින සංකල්ප රාශියක එකතුවක් වෙයි. ජනයා අතර ගොඩනැගී ජනයා විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ කාරණා සමූහය ජනශ්‍රැති  වශයෙන් නම් කරනු ලබයි.
                  ජනශ්‍රැතික අංගයන් ජන සංස්කෘතික අංගයන් වන බවට හදුනාගත හැකි ය. මන්ද ජනශ්‍රැති අංගයන් ඒ ඒ සංස්කෘතික අංග හා බැදී පවති. සංස්කෘතිය මිනිසාගේ සමාජ උරුමය වශයෙන් ද හදුනාගැනෙයි. සංස්කෘතිය පිළිබඳ නිර්වචන විශාල ප්‍රමාණයක් ඇති අතර බි්‍රතාන්‍ය මානව විද්‍යාවේ පියා ලෙස හදුන්වනු ලබන ඊ .බී ටයිලර් තමාගේ ප්‍රාථමික සංස්කෘතිය යන කෘතියෙන් සංස්කෘතිය නිර්වචනය කර ඇත.
ජනශ්‍රැති මනුෂ්‍ය සමාජයේ විශිෂ්ට එක අංගයක් ලෙස පුරාණයේදී සැලකිණි. සමාජයේ පැවැති අත්දැකීම් ආදී ම යුගයේ පටන් ආරක්ෂා කොට පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරන ලද්දේ සමාජයේ යම් යම් පිරිස් විසිනි. තමා ඇසු දුටු වැඩිහිටියන්ගෙන් උගත් සියල්ලම ජනශ්‍රැතියට අයත් ඥාන සම්භාරයයි. ශිල්ප ශාස්ත්‍ර සියල්ල ආචාර ,සදාචාර හොඳගති පැවැතුම්, චාරිත්‍ර ,ආකල්ප සංකල්ප ,චේතනා අඩංගු ජනශ්‍රැතිය කෝෂ්ටාගාරයක් ලෙස සැලකිය හැකි ය. එසේ ම ජන සමාජයේ බහුලව ව්‍යවහාර වන අංශ කිහිපයක් තවමත් දක්නට ලැබේ. ජන ගී ගොවිතැනට සම්බන්ධ සිරිත් විරිත් ,බෙරවාදන ,ශාන්තිකර්ම, නැටුම් , පුරාණ ඇදහීම්, ජන ක්‍රීඩා ,ජන භාෂාව ගෘහ නිර්මාණ ,සූප ශාස්ත්‍රය,  සිහින තේරීම්,  ඇඳුම් පැළඳුම්, ඇදහිලි ඒ අතරින් සමහර කොටස් ය.  (වීරසිංහ 1986 )

            ජනශ්‍රැති අධ්‍යයනයේ එක් අංගයක් ලෙස ශාන්තිකර්මය ජනශ්‍රැති අධ්‍යයනකරුවන් හඳුන්වනු ලබන අතර පොල් පිරිස් ’ මහතා  ලංකාවේ ශාන්තිකර්මයන් හඳුන්වනු ලබන්නේ එක්තරා වෛද්‍ය විද්‍යා විශේෂයක්  ලෙස ය. මෙම කෘතියහි ඇතුළත් කර ඇත්තේ ශාන්තිකර්ම, පිදවිලි, ඇඳහිලි ආදිය වේ.  ගැමියන් අපේක්ෂා කරන්නේ පරලොව සැප නොව මෙලොව ලාභ ප්‍රයෝජන බැවිනි. ගැමි ඇදහිලි ඇසුරුකොටගෙන පවත්වන ශාන්තිකර්මවල පොදු අභිප්‍රාය නම් යක්ෂ භූතාදීන් නිසා ඇතිවන වස්දොස් දුරුකිරීමත් සෙත් ශාන්ති පැමිණ වීමත් ය. එහෙයින් ඇතැම් රෝග සුව කිරීම ආදි මාර්ගයක් ලෙස ශාන්තිකර්ම සිදු කරනු ලබයි.
ශාන්තිකර්ම පිළිබඳ විමසන විට ඒ හා බැඳුණු තවත් සංකල්පයක් ලෙස ජන නැටුම් හඳුන්වයි. මෙය සිංහල ජන සමාජය දෙස අවධානය යොමු කිරීමෙන් පමණක් කළ අදහසක් නොවෙයි. ලෝකයේ බොහෝ ජන නැටුම් ගොඩනැගී ඇත්තේ ජන ශාන්තිකර්මය ඇසරින් ය. ආයුර්වේදයට අනුව ශාන්තිකර්ම මෙසේ හඳුන්වයි.   
 ආයුර්වේදයේ ආතුරයාගේ ලෙඩ දුක් නසන  ප්‍රතිකාර කොටස් තුනකට බෙදා ඇත. එය දේව ව්‍යාප්‍රාශය , සත්වාද්වීපය යන චිකිත්සා ක්‍රමයේදී යම් පුද්ගලයෙකුට ඇතිවන්නා ලද යක්ෂ ,භූත පිසාච, ප්‍රේත, යන ආදියෙන් ඇතිවෙන දෝෂ ඇස්වහ, කටවහ, හෝවාහ, හූනියම් දෝෂ වේ. සඳු ,බුද ,ගුරු , කිවි, ශුක්‍ර ,ශනි ,රාහු ,කේතු යන ග්‍රහයන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව කල්කිරීම අකල්කිරීම මගින් හටගන්නා රෝග, දෝෂ ආදිය සඳහා ශාන්තිකර්ම හා වෙදහෙදකම් කිරීමේ අංගයයි. ”
( ලියනගේ : 2001 )

 

                 එසේ ම ශාන්තිකර්මවලට සමාන පදයක් ලෙස භාවිතා කරනු ලබන්නේ ‘සුභ කවිනළු’ ලෙස ය. මෙය හැඳින්වූයේ නියමයන්ට අනුකූලව නිර්මාණය වූ පාරිභාෂිත පදයක් ලෙස ය. ( නාට්‍ය ශාස්ත්‍රය)
ශාන්තිකර්ම ග්‍රන්ථවල තිබූ ආකාරයන් මගින් ශාන්තිකර්මයන් තිබූ බව හඳුනාගත හැකි ය. ශාන්තිකර්මයන්හි බුදුගුණ නිරන්තරයෙන් ගායනා කරනු ලබයි.  එමගින් යකුන් ලවා බුදුන්ගේ අණට කීකරු වන බව විශ්වාස කරයි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම සඳහා සිදුකරන්නට ඇතැයි සිතිය හැකි ශාන්තිකර්මයන්ට අනුව මෙය කදිම නිදසුනකි.

 

   “අහසට බුදු රුස් කඳක්             මවාලා
 පොළොවට බුදු රුස් කඳක්           මවාලා
 යකුගිය ඇත මං                       බිදවාලා
 මුනිරජ වැඩියයි පිරිත්                 දෙසාලා ” 

 

 මෙවැනි කවි ගායනා කිරීම මඟින් බුදුන්ගේ ආරක්ෂාව ද, රෝගියාට තිබෙන බව සන්නිවේදනය වේ. මීට අමතරව ශාන්තිකර්ම අතරතුරෙහි සිදුවන බෙර වාදනයක් මඟින් ද , ශාන්තිකර්ම එකල සිදුකර බවට සාක්ෂි සපයයි.

 

 නානුමුරය හා කපුයක්කාරිය යන රංග අවස්ථාවන්හි යොදාගනු ලබන බෙර පද හා ගායන මගින් සන්නිවේදනය කරනු ලබන්නේ වඳ ස්ත්‍රීන් කපු පිළි වියා දීපංකර බුදුන්ට සළුව පූජා කර පිනෙන් දරු සම්පත් බවයි. මේ නිසා සංගීත චිකිත්සාව ශාන්තිකර්මයන්හි රෝග නිවාරණය සඳහා බෙහෙවින් ඉවහල් වන බව මෙයින් ගම්‍යමාන වේ.

 

මෙසේ විවිධ අරමුණු සඳහා ලංකාවේ විශාල ලෙස ශාන්තිකර්ම සිදුකර ඇති අතර මේ පිළිබඳ සම්ප්‍රදායන් තුනට අදාළව හඳුනාගත හැකි ය. සංස්කෘතික සමාජ ලක්ෂණවලින් හෙබි සමාජ කොටස්වලින් පිරී තිබෙන අතර එකී විවිධත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ එම ප්‍රදේශයන්හි තිබෙන ආවේණික ස්වභාවධර්මයේ බලපෑම බව කිව හැකි ය. යම් රටක පවත්නා භූගෝලීය හා දේශගුණික වෙනස්කම් අනුව එම රටේ සංස්කෘතිය ගොඩනගන ලද බව විද්වත්හු  ඉදිරිපත් කරති. එනම් 
උඩරට සම්ප්‍රදාය
පහතරට සම්ප්‍රදාය
සබරගමු සම්ප්‍රදාය
උඩරට සම්ප්‍රදායට අයත් වන්නේ කොහොඹා කංකාරි ශාන්තිකර්මය වන අතර පහතරට ප්‍රධාන ශාන්තිකර්මය වන දෙවොල් මඩු ශාන්තිකර්මය වේ. සබරගමුවෙහි ප්‍රධාන ශාන්තිකර්මය වන්නේ පහන්මඩු ශාන්තිකර්මය වේ.
ඉහත කී ශාන්තිකර්මවල උපත් කතා හා සිද්ධීන් තුළ රජදරුවන්ට දාව බිසව්වරුන්ට දරුවන් ලැබීමත් ඒ ක්ෂණයකින් නක්ෂත්‍රකරුවන් ගෙන්වා අනාගත ග්‍රහපල විස්තර අසාගැනීමේ අවස්ථාවක් එසේ නක්ෂත්‍රඥයින් පළකරන ලද අදහස් සියයට සියයක් ම ඉෂ්ටවන අවස්ථාවන් දක්නට ලැබෙයි. විවිධ සිද්ධීන්ට අදාළව අනාගත වක්තෘන් විසින් ප්‍රකාශිත අදහස් එලෙසින් ම සිදුවූ බව ශාන්තිකර්ම සාහිත්‍යයේ සඳහන් වේ.                      ( දිසානායක, 2007:  පි: 21)
සිංහල ශාන්තිකර්ම සඳහා ප්‍රයෝජනයට ගන්නා වූ තටු ගොටු පිදේනිවල දි පුදනු ලබන ආහාර ද්‍රව්‍ය ,අඩුක්කු මුරුතැන් හා පූජා භාණ්ඩ ආදියෙහි පවතින්නේ පුදුමාකාර සාම්‍යයකි. එසේ ම මෙම ශාන්තිකර්මවල අන්තර්ගත පාළි සඳහා සමාන නම් භාවිතා කරනු ලබයි .(දිසානායක 2007: පි: 21)
ඉහත කි ශාන්තිකර්මයන් සමාජයේ සංස්කෘතික ලෙස වටිනාකම් රුසක් ඉදිරිපත් කරන අතර පහන්මඩු ශාන්තිකර්මයේ සුවිශෙෂත්වය හදුනාගැනිමට සබරගමු සම්ප්‍රදාය අධ්‍යයනයකට ලක් කෙරිණි. සම්ප්‍රදායන් තුනටම අදාළ වන්නා ලද ශාන්තිකර්මයන්  නැවතත් ප්‍රධාන කොටස් දෙකක් යටතේ  හඳුනාගත හැකි ය.
මඩු ශාන්තිකර්ම
බලි ශාන්තිකර්ම
 බලි ශාන්තිකර්මය මගින් යක්ෂයින් ග්‍රහයින් මූලික කොටගෙන සිදුකරනු ලබන ශාන්තිකර්මය බලි ශාන්තිකර්මය වේ. මෙම බලි ශාන්තිකර්මය සම්ප්‍රදායන් තුනට ම අදාල වේ.
 මඩු ශාන්තිකර්මය මගින් දෙවි දෙවියන් මූලික කොට ගෙන සිදු කරනු ලබයි. මඩු ශාන්තිකර්මයන්ට අදාලව ගොඩනැගෙන්නා ලද මාගේ පර්යේෂණය තුළදී එය දීර්ඝව කතා කෙරෙයි. මඩු ශාන්තිකර්ම සම්ප්‍රදායන්ට අනුව තුනකි .ඒ අනුව උපත් කතා දෙකක් මගින් මෙම සම්ප්‍රදායන් තුනෙහි ඇත. මන් ද දෙවොල්මඩු හා පහන්මඩු ශාන්තිකර්මවලදී එක් උපත් කතාවක් මූලික වුව ද, පහන්මඩුව තුළදි අතුරු කතා කිහිපයක් ද ඉදිරිපත් වෙයි. මඩු ශාන්තිකර්ම වලදී ප්‍රධාන වන්නේ දෙවි දේවතාවුන් ය. එනම් පත්තිනි දේවතාවිය, මංගර දේවතාව, කතරගම දෙවියන් යන විෂයන්හි  පවත්වන සෙත්ශාන්ති මඩු ශාන්ති නමින් හඳුන්වයි. 
‘මඩු ශාන්තිකර්ම’ පිළිබඳ මඩු පුරාණය දිර්ඝ එකකි. ඒ ගැන නොයෙකුත් ජනප්‍රවාදයකට ම මෙන් පත්තිනි මුල් වී ඇත. පොදුවේ බලන විට පත්තිනි දේවියගේ ස්වාමි පුරුෂයා පාළඟව මරා දමයි. මදුරාපුර පඬි රජුගෙන් පලි ගැනීමට සිතූ පත්තිනි තම පතිවත බලයෙන් මයුරාපුරය ගිනිබත් කළා ය. නැවත තම මිය ගිය සැමියාට ප්‍රාණය ලබා දී කිරි උතුරවා මල් වැසි වස්සවා යලි මදුරාපුරය යථා තත්ත්වයට පත්කිරිමට ද පසුබට නොවූවි ය.       (ලියනගේ  1998 :පි 2 )
මෙම අද්භූතජනක සිදුවීම් මාලාව නිසා පත්තිනියගේ මරණින් පසු මදුරාපුරයෙහි පත්තිනි වෙනුවෙන් දේවාලයක් තනවා එහි ඇය වෙනුවෙන් පුද පූජා කරන්නට සිදුවිය. සළඹ මුල්කොටගෙන මුල් ම මඩු ශාන්තිකර්මයක් පවත්වා ඇත්තේ නවගමුව පත්තිනි දේවාලයෙහි ය.
 රුවන්වැල්ලේ ඊසාන දිග් භාගයේ සත් දිනක් කරණ ලද මඩු ශාන්ති කර්මය විශාල ශාලාවක පැවැත්වූ බව ඒ ගැන පහත කවි සාක්ෂි සපයයි. එය මඩු පුරාණය මගින් මනාව ගම්‍යමාන වේ.

 

දිගින් මඩුව සැට             රියනේ 
පුළුල මැන තිස්               රියනේ
මඩුව සරසමින්                නේ
තොරන මතරිදු වසන්       රියනේ ”

 

දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, සහිත මඩුවක් තැනවී ය. එහි දෙවොල් තොරණ ද, රඹ තොරණ ද, වාහල තොරන ද ඇතුළුව  සතර වරම් දෙවියන්ට මල්පැල් සාදා මඩු ශාන්තිකර්මය ආරම්භ කර ඇත.
මේ ගී මඩුවේදි පිළිවෙලින් පෙළපාලි හැට හතරක් ද, යක්කම් තිස් දෙකක් ද, පන්තිස්කෝල්මුර නටමින් සත් දිනකින් මඩුව අවසන් කර ඇත. මඩු ශාන්තිකර්ම ගැන මඩු පුරාණයේ සඳහන් වන්නේ මෙසේ ය.

“පළමුව කන්නුම් පුර  ගී මඩු උපතක් සැදු            නා
  දෙවැනුව පඬුවස් නිරිඳුට වන් දිවිදොස් දුර හරි      නා 
  තෙවනුව සේරමාන් රජුහට එලෙස ම ගී මඩු කර   නා
  එදා පටන් නරලොව ගම්මඩු පිළිවෙල සැදු          නා ”

“ සෑදී එපිළිවෙල ගී මඩු ගම්මඩු පොර                 ණ
 තෙද පත්තිනි දෙවිය  පිළිවෙල හැදි                   ණ
 පුද සරසා සැම දෙවියන් පිළි සර                      ණ
 වැඳ පවසන් කව්කළ ගී මඩු කවිමඩු පොර           ණ  ”
(දිසානායක : 2007 )

 

         ගම්මඩුව  නමින් හඳුන්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මය ඒ ඒ අවස්ථාවල යම් යම් සුවිශේෂී වෙනස්කම් සහිතව  නම්‍යයතාවලට ලක්කොට ඒ තුළින් අනෙක් මඩුතෝත්‍ර ප්‍රභවය වූ බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ අදහසයි. එසේ වුව ද, සබරගමුවේ ප්‍රධාන මඩු තෝත්‍රය ලෙස පහන් මඩුව හැඳින්වෙයි. එසේ බලන කළ පහන් මඩුව යනු ගම්මඩුවේ ප්‍රාදේශීය සංස්කරණයකි. කිරිමඩුව ගවයින්ගෙන් පිහිට පතා පට්ටි කාරයන් විසින් ද, හැල්ලුම් මඩුව වැඩි අස්වැන්න කපා ගැනීමට හේන් ගොවියන් විසින් ද කරනු ලබන්නකි. මෙහිදී මඩු ශාන්තිකර්මයන්ගෙන් පර්යේෂණය සඳහා පහන්මඩු ශාන්තිකර්මය පිළිබඳ අධ්‍යයනය කිරීම සිදුකරනු ලබයි.
 පුරාණ ලංකාවේ දේශපාලනික බෙදීම වශයෙන් දක්නට ලැබෙන්නේ මලය ප්‍රදේශය හා රුහුණු රට ය. දිවයිනේ කඳුකර ප්‍රදේශය මලය රට වශයෙන් හැඳින්වූ අතර කළු ගඟ තෙක් පමණක් නොව උතුරට ද, රුහුණට ද පැතිරී තිබුණු බව පෙනේ.
     ලංකාව නැවත රජරට ,රුහුණ හා මායා රට යනුවෙන් කොටස් තුනකට බෙදනු ලබයි. සබරගමු ප්‍රදේශය රුහුණු රටේ හා මායා රටේ කොටසක් ලෙස පැවති බව විවිධ මත ඇත. වර්තමාන දේශපාලනික බෙදීම යටතේ ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදා ඉන් එක් පළාතක් ලෙස සබරගමු පළාත හඳුන්වනු ලබයි. එහිදී රත්නපුර , කෑගල්ල ලෙස දිස්ත්‍රික්ක දෙකක් යටතේ දක්නට ලැබේ. දේශීය සම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේ දී උඩරට හා පහතරට සබරගමු යනුවෙන් සම්ප්‍රදායන් තුළ දැකගත හැකි වන අතර සම්ප්‍රදායේ ඉතිහාසය පොළොන්නරු යුගය තෙක් ඈතට යනු ලබයි. ඉන් පෙර ද සබරගමු යන නාමය භාවිත වූ බවට නිගමනය කළ හැකි සබරගමු නැටුම් සහිත පුද පූජා ප්‍රචලිත විවිධ අත් පිටපත් ද, සන්නස් , කුඩපත්  ආදිය විමර්ශනය කරන විට සබරගමු ප්‍රදේශය හැඳින්වීම සඳහා කලින් කල සපරගමු දිශාව ,සබරගමු රට, සපරගමුව යනුවෙන් භාවිතා වී ඇති අතර සබරගමු පළාත නාමයන් ප්‍රසිද්ධ වී ඇති බව හදුනාගත හැකි ය.
       මෙහිදී ප්‍රදේශ නාමයන් හා ගොඩනැගුණු සාම්ප්‍රදායිකත්වයක් දැකගත හැකි වේ. එනම් රත්නපුර බළන්ගොඩ අදාළව හඳුනාගත හැකි ය. සබරගමු පහන්මඩු ශාන්තිකර්මය ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් ඔස්සේ හදුනාගත හැකි ය. එහිදී එම සම්ප්‍රදායන්හි සුවිශේෂතා සේම සමානතා ද හදුනාගත හැකි වන අතර පහන්මඩු ශාන්තිකර්මයට අදාලව ඇති පරම්පරා මෙසේ ය.
ගලපිටබැද්දේ ගුරු පරම්පරාව රත්නපුර 
ගාලුකාගම ගිනි ගණිත පරම්පරාව රත්නපුර
ගලුකාගම කන්දෙවත්ත පරම්පරාව රත්නපුර 
බුංගිරිය පරම්පරාව රත්නපුර
කුඹල්මුල්ල කපු පරම්පරාව  බළන්ගොඩ
හල්පෙ පරම්පරාව හල්පෙ බළන්ගොඩ 
 යන පරම්පරාවන් සබරගමු පළාත තුළ දී දැකගත හැකි ය. ගායන හා වාදන නර්තන අතින් විශේෂත්වයක් හඳුනාගත හැකි ය. සම්ප්‍රදායන් ලෙස බළන්ගොඩ හා රත්නපුර ප්‍රධාන කොටස් දෙකට බෙදා දක්වනු ලබන අතර එය විෂමතා සමානතා හඳුනාගත හැකි අතර මගේ පර්යේෂණය තුළදී ඒවා පිළිබඳ තොරතුරු අධ්‍යයනය සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. 
    සබරගමු සම්ප්‍රදායට අයත් මඩු ශාන්තිකර්මයක් වන පහන්මඩු ශාන්තිකර්මය පත්තිනි දෙවියන් උදෙසා පුද පූජා කරනු ලබන අතර පහන් පත්තු කිරීම නිසා පහන් මඩු ප්‍රචලිත වූ බව තිස්ස කාරියවසම් මහතා අදහස් ඉදිරිපත් කර ඇති අතර විවිධ පුද්ගලයින්ගේ අදහස් මත දරා ඇත. පහන් මඩුවේ අරමුණ ලෙස සශ්‍රීකත්වය හා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම මූලික කරගෙන මෙම පහන් මඩු ශාන්තිකර්මය සිදුකරනු ලබයි. එසේ ම කෝල්මුර ගායනා කිරීම මෙහි ප්‍රධාන පූජාවිධි රටාවක් ලෙස හඳුනාගත හැකි අතර පහන් මඩුව තුළදී විවිධ සාරධර්ම ඉස්මතු කරනු ලබයි.
           පහන් මඩු ශාන්තිකර්මය පූජා පෙළ ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදා දක්වනු ලබයි. කප් සිටුවීම පහන්මඩු ශාන්තිකර්මය මූලික චාරිත්‍රය වන අතර මඩු පේ කිරීම ඉන් අනතුරුව සිදුවේ. පහන්මඩු මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි මඩු නැටීම  සිදු කරයි. වාදන හා ගායන අවස්ථා, නාට්‍යමය අවස්ථා බොහෝ සෙයින් පරිපූර්ණ වූ මෙම ශාන්තිකර්මය චාරිත්‍ර වාරිත්‍ර විශේෂ ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර පහන් මඩුවෙ චාරිත්‍ර අවසන් වී හමාරය සිදුකරනු ලබයි.
             ශාන්තිකර්මය තුළදී අනන්‍යතා ලක්ෂණ දැකගත හැකි වන අතර මෙම අනන්‍යතා ලක්ෂණ ප්‍රධාන ලෙස පහන් මඩු ශාන්ති කර්මය තුළ දැකගත හැකි වන අතර එයින් සුවිශේෂත්වය හඳුනාගැනීමට විවිධ අංගයන් පිළිබඳ අධ්‍යයනයක සිටිනු ලබන අතර අවසානයේ දී පර්යේෂණ අවසන් කරමින් සබරගමු සම්ප්‍රදායේ පහන්මඩු ශාන්තිකර්මයේ බළන්ගොඩහි සුවිශේෂත්වයන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සුවිශේෂත්වයට හේතු සෙවීමට ද අපේක්ෂිතයි.
         මෙසේ ඈත අතීතයේදි ශාන්තිකර්ම තිබුන බවට සාක්ෂි සපයනු ලබන අතර තවත් අධ්‍යයනය කරන ලද කරුණක් වන්නේ ශාන්තිකර්ම ගැන එතරම් ගණන් නොගැනුනු අතර මාගේ පර්යේෂණ ගැටලුවට පසුබිම වූයේ ද, ශාන්තිකර්මයන් සාහිත්‍යය වශයෙන් කාගේත් නොමද කතා බහට ලක්වුවන ද එහි සුවිිශේෂත්වය පර්යේෂණයකට ලක් නොකරන අතර ඒ ගැන කිසිදු ග්‍රන්ථයක් රචනා නොවීම යි. එය පහත උපුටන මගින් සනාථ කරයි.

 

“...ශාන්තිකර්ම කේෂ්ත්‍රය තුළින් සබරගමු නර්තන සම්ප්‍රදාය පෝෂණය වී ඇත්තේ නමුදු එකී ශාන්තිකර්ම අරඹයා ලියන ලද කිසිදු ශාස්ත්‍රිය ග්‍රන්ථයක් මේ දක්වා ලියවී නොමැත .... ”
(කෝට්ටගොඩ, 1995 :7 ) 
ඉහත කී පර්යේෂණ කෘති හෝ බළන්ගොඩ පහන්මඩු ශාන්තිකර්මයේ සුවිශේෂත්වය ගැන කෘති නොලිවිම නිසා ජනශ්‍රැති අංගයක් ලෙස ද, සංස්කෘතික අංගයක් ලෙස ද, මෙම ශාන්තිකර්ම කතා කෙරුණ ද, කාගේත් අවධානයට ලක් නොවන්නේ එහි සුවිශේෂත්වය කෙසේදරෑ යන්නයි. ඒ පිළිබද කිසිවකු හෝ පර්යේෂණයට ලක් නොවන්නා ලද අංගයක් නිසාවෙන් මාගේ පර්යේෂණය සිදුකරමි.


 පහන්මඩු ශාන්තිකර්මයේ ප්‍රධාන චාරිත්‍ර





කප් සිටුවීම    -  මෙය පහන්මඩු ශාන්තිකර්මයක පළමු චාරිත්‍රය වේ. එය පූර්ව චාරිත්‍රය වේ.


 

 මඩු දින චාරිත්‍රය -  

පූර්ව චාරිත්‍රවලින් පසුව මඩු දිනයේදි චාරිත්‍ර සිදුකරයි

 

 

  දෙවන දින චාරිත්‍ර ආරම්භය - මෙය දේවාභරණ වැඩම වීමෙන් අනතුරුව පහන්මඩු ශාන්තිකර්මයේ අවසන් චාරිත්‍ර හා ගායනය වාදනය රංගන කුසලතාවන් දැකගත හැකි අපූරු කෙළිමඩලක් වෙයි.මෙම දෙවන දිනයෙහි චාරිත්‍ර බො⁣හෝමයක් ඉදිරිපත් කරන අතර මෙම දිනයෙන් පහන්මඩු හමාරය සිදුවේ.

 

 

 

AR/89634
AF/12780 
K.H.S.Sandamali 
SINH4001

සබරගමු සම්ප්‍රදායේ බළන්ගොඩ පහන්මඩු ශාන්තිකර්මය

    සබරගමු සම්ප්‍රදායේ බළන්ගොඩ පහන්මඩු ශාන්තිකර්මයේ සුවිශේෂත්වය                 පෙර අපරදිග රටවල්වල විද්‍යාමාන පොදු ජන සාහිත්‍යයක් ලෙස ජනශ්...